Dynasties (2018)
Dynasties
Documentary
♥ IMDb 9.1/10
🍅 Rotten Tomatoes 88%
👍 Google Users 95%
BBC කියන්නේ Wildlife Cinematography හි අගතැන් වුණ නාමයක් කියලා ලෝකයක්ම දන්නවා නෙහ් 😊 ඒත් එක්කම ඈඳෙන තවත් නමක් තියෙනවා..ඒ තමා Sir David Attenborough...BBC හි Wildlife Documentary සීරීස් එකක් රිලීස් වෙනවාද ඔහු එහි පසුබිම් කථකයා මෙන්ම ගවේෂකයාද වනවා..
David Attenborough ගේ Planet Earth I,II/Frozen Planet/The Blue Planet/Blue Planet II/Great Barrier Reef වගේ මෑතක සීරීස් විතරයි මම නම් දන්නේ...පරණ ගොඩක් දේවල් තියෙනවා ඇති..මොකද මට මතකයි Great Barrier Reef හිදී ඔහු කියනවා ඔහු ඕස්ට්‍රේලියාවේ ඒ මහාබාධක කොරල් පරයට අවුරුදු 20 ගණන් වලදී පැමිණි කතාවක්..පින්තූර පවා සාක්ශි ලෙස පසුබිමින් පෙන්වනවා..
දැන් ඔහුට වයස 92ක්...සමහරවිට Planet Earth තෙවැන්නක් ගැන නම් බලාපොරොත්තු තියාගන්න අමාරු වෙන්නත් පුලුවන්...කොහොම හරි 2018 වසරේදි Wildlife Series රසිකයන්ට හම්බවෙන හොදම තෑග්ගක් මේ Dynasties(රාජවංශයන්)
සත්ත්ව ලෝකයේ රාජවංශ...පැයක ධාවන කාලයකින් යුත් කොටස් 5කින් ඔබ වෙත ආවත් මෙය අඩුම වසර හතරක පමණ දුෂ්කර මිනිස් ශ්‍රමය හා කැපකිරීම් ගොඩක ප්‍රතිඵලයක්... ඒ වගේම හැම කොටසක්ම අවසාන වෙන්න කලින් විනාඩි 10ක් විතර වෙලාවක් ඒ කොටස රූගත කරද්දි වුණ Behind the Scenes පෙන්වනවා.කැමරාව ජීවිතේ කරගත්ත මිනිස්සු ඒ...
බලනවා නම් අනිවාර්යයෙන් Source Upload ෆයිල් එකකින් බලන්න...මොකද ඒ තරම්ම වටිනවා..
එහෙනම් එන්න සිම්බාබ්වේ හි තැනිතලා වල ඉදන් ඉන්දියාවේ වනාන්තර දක්වා,සහරා හි කඳු වැටි ඉදන් ඇන්ටාක්ටිකාවේ හිම මිදුණු මුඩු බිම් දක්වා සත්ත්ව ලෝකයේ චාරිකාවක් යන්න..
[තාමත් මේක කියවනවා නම් 👉 Episode by Episode කරලා තියෙන Plot Summaries සමහරවිට අවුල් වෙන්නත් පුලුවන්..මොකද වචන ගැලපීම සහ ලස්සනට ලියන එක කියන දේ මගේ අහලකවත් නෑ..ඒ නිසා අවුල් තිබ්බොත් ගලපගන්න]
***Spoiler Warning***
Story-
Episode 01: Chimpanzee
----------------------------------------
මේ කොටසින් කතාවෙන්නේ Senegal හි කැලෑවක ජීවත් වන චිම්පන්සි රංචුවක් සහ එහි ඇල්ෆා වන ඩේවිඩ් ගැන...
ඩේවිඩ්ගේ නායකත්වයට එන අභියෝග,ඔහු ඒවට මුහුණ දෙන විදිය..බලය රැකගන්න කරන සත්ත්ව ලෝකයේ දේශපාලන සෙල්ලම් ගැන මේකෙදි කතා කරනවා..
🌟 මේ කොටස රූගත කරන්න කැමරා කණ්ඩායමට අවුරුදු 2ක් ගිහින් තියෙනවා.අප්‍රිකාවේ ශුෂ්ක වනාන්තර වල 40-45°C වගේ උෂ්ණත්වයක් එක්ක පොරබදින හැටි,මී මැස්සන්ගෙන් පවා එල්ල වන ප්‍රහාර ගැනත් "On Location" හිදි කතා කරනවා.
Episode 02: Emperor
----------------------------------
මේ කොටසෙදි Emperor Penguins ලා Mating Season එක වෙනුවෙන් ඇන්ටාක්ටිකාවේ හිම මිදුණු Atka බොක්කට පැමිණෙනවා.බිත්තර දමන ගැහැණු සතුන් බිත්තරය තම සහකරුවාට භාර දී නැවතත් මුහුද වෙත යනවා ආහාර සොයා එන්නට..මාස දෙකක තුනක පමණ දීර්ඝ කාලයක් පිරිමි සතුන්ට දැන් බලා සිටින්න වෙනවා තමන්ගේ ජීවිතය සහ බිත්තරයේ ජීවයත් රැකගෙන තම සහකාරිය නැවත එනතුරු...
නමුත් -50°C සීතලේ හිම කුණාටු අස්සේ පිරිස් ලෙස ගුලිවීමට මඟ ඇරුණු පිරිමි සතුන් බිත්තරයද සමඟම ජීවිතයෙන් සමු ගන්නවා.
පැටවුන් එලියට ආ පසුත් තවත් නරක දේවල් වෙනවා..පිරිමි පෙන්ගුවින් සත්ත්වයා පැටියාට වමාරා දෙන කෑම ටික ඇති වෙන්නේ දින දෙක තුනකට පමණයි..ඒත් එතනින් පසුවත් පෙන්ගුවින් මව පැමිණුනේ නැත්නම් පැටවා කුසගින්නේ මිය යනවා..
ජීවිතය බේරගන්නා පැටවුන් දෙමව්පියන් සමඟ නැවතත් එක පවුලක් වුණත් ඊට පසුව එන්නේ අමාරුම කාලයයි...ඒ මව,පියා දෙදෙනාම කෑම සොයා යාමට පිටත් වෙනකොට පැටවාට තනිවම ජීවිතය රැකගැනීමට වෙනවා..සීතලෙන් ආරක්ෂා වී තවත් එක් අලුත් පරම්පරාවක් ලෙස කෙසේ හෝ සීත සමය නිම කර ලෝකයට පිටත්ව යාමට සිද්ධ වෙනවා..
🌟 මේ කොටස රූගත කරන්න අවුරුද්දක පමණ කාලයක් ගත වී තිබෙනවා.රෑගත කරන කණ්ඩායම සඳහා සෑහෙන ටොන් 70ක පමණ කෑමබීම ඔවුන් ගබඩා කරගන්නවා මුලින්ම..පැලීම් සහිත අයිස්බිම් මඟ ඇරගෙන ශක්තිමත් අයිස් තට්ටු මත පමණක් යමින් බොහොම ඉවසීමෙන් -40°C ක වගේ උෂ්ණත්වයක ඉදන් ඉතා දුෂ්කර 100km/h ක වගේ වේගෙන් හමන හිම කුණාටු අස්සෙත් ඔවුන් රූගතකිරීම් කරගන්නවා සාර්ථකව...මේවා ගැන "On Location" හිදි කතාවෙනවා.
Episode 03: Lion
---------------------------
කෙන්යාවේ Maasai Mara අභය භූමියේ Charm කියන සිංහ ධේනුවේ කතාව තමා මේ කොටසින් කතා වෙන්නේ...Charm කියන්නේ මේ රංචුවේ අත්දැකීම් වැඩිම සිංහ ධේනුව,භාරකාර මව වගේම ආර්යාව ද වනවා..මේ කොටසින් Charm ප්‍රධානව සහ
නෑනා Siena,Charm ගේ වැඩිමල් ගැහැණු පැටියා Yaya/පිරිමි පැටියා Tatu,සහ Tatu ගේ මස්සිනා Red චරිත ටික ගැන කතා වෙනවා..
Charm සහ අනෙකුත් සාමාජිකයන් තනි කරලා වැඩිමල් සිංහයන් රංචුව දාලා ගිහින්...දැන් Charm ගේ කරමත තමා තියෙන්නේ මුළු රංචුවටම කන්න දෙන්න..ඇයට සහයකට හෝ ඉන්නේ Siena විතරයි..
මේ ප්‍රශ්න අතරෙදි වියළි කාලයත් එනවා...කෑම හිඟයි..
Siena ත් Wildebeest කෙනෙක්ව දඩයම් කරගන්න යද්දි උගේ අං වලින් ප්‍රහාර එල්ල වෙලා තුවාල වෙලා රංචුවෙන් වෙන් වෙනවා..
මේ අතරේ Charm එක්ක රංචුව කෑමක් හොයන අතරේ සිංහයන්ගේ බල සීමාව අස්සට ගව පට්‍ටි දක්කගෙන එනවා එඬේරු....මේ එඬේරු වස කවලම් කරපු මස් දෙනවා සිංහයන්ට ගවයන් බේරගන්න උවමනාවට...මේකෙන් මේ විශ වීමෙන් Charm ගේ Tatu ඇර අනික් පොඩි පැටියා අසනීප වෙනවා..රංචුව වෙනුවෙන් Charm ට තමන්ගේ දරුවා අතාරින්න වෙනවා..
පස්සේ Siena ත් රංචුවට නැවත එක්වුණත් නැවතත් ආය මඟහැරෙනවා...
මේ අතරේ වැඩිවියට පත් වුණ Tatu සහ Red තමන්ගේ රංචුව අත්ඇරලා තමන්ගේම Pride එකක් හදාගන්න පිටත් වෙනවා...දැන් Charm ට ඉන්නේ Yaya විතරයි සහයට...අනික් හැමදෙනාම තාමත් පුංචි වයසේ...Yaya ත් එක්ක Charm කොහොම හරි රංචුව ජීවත් කරවනවා..
සිංහයෙක් නැති මේ රංචුව අත් පත් කරගන්න මේ අවස්ථාවේ පිටස්තර සිංහයන් දෙන්නෙක් එනවා..දඩයමක් කරගන්න බැරි සිංහ ගැහැණු පැටවුන් සේරම මොවුන් දෙදෙනා පිටුවහල් කරනවා..Charm ගේ බාලම ගැහැණු පැටවාටත් ඒ ඉරණමම තමා අත්වෙන්නේ..ඇයට ඒකට විරුද්ධව කරන්න දෙයක් නෑ..ඇය අසරණයි..දැන් රංචුවේ ඉතිරි ඇයත් ඇගේ දියණිය Yaya ත් පමණයි..
Charm පැටවුන් දෙදෙනෙක් රංචුවට එක් වුණ එක් සිංහයෙක්ගේ ලෙයින් උපද්දනවා...දැන් නැවතත් අලුත් රංචුවක පෙරනිමිති පහළ වෙන්නේ..
"Charm,She is what a lion should be.She's a provider,She's a mother.She looks after cubs that aren't her own.
She's a matriarch.she is the dame."
💝💞💗💗💗
🌟 අවුරුදු දෙකක කැමරා කණ්ඩායම් වල මහන්සියක් තමා මේ පැයක කොටසකින් එලියට එන්නේ..ඒ අවුරුදු දෙක තුළ ඔවුන් Charm ගේ රංචුවට ගොඩක්ම සමීප වෙනවා..Charm ට Camera Crew එක හුරු දෙයක් වෙනවා නිකන්ම..කෑම විශ වෙලා මිය යමින් ඉන්න සිංහ පැටවාට කෙන්යාවේ සත්ත්ව ආරක්ෂාව සම්බන්ධ ආයතන වලට දැන්වීමෙන් පසුව හදිසි ප්‍රතිකාර සඳහා සහාය එවනවා..නමුත් ඔහු එතරම් වාසනාවන්ත නෑ..විශෙන් ඔහු මිය යනවා....
සීඝ්‍ර ජනගහන වර්ධනය එක්ක ඔට්ටු වෙන්න සත්තුන්ට අමාරුයි..මේ ඔවුන්ගේ පැවැත්මේ සංක්‍රාන්ති සමයක්..
Episode 04: Painted Wolf
-----------------------------------------
Painted Wolf කියන්නේ කැලෑ බල්ලන් ජාතියක්...වෘකයන්,හිවලුන්ගේ අතරමැදි අවස්ථාවක් වගේ..සාමාන්‍ය විශාල රංචුවක් ලෙස තමා මොවුන් ඉන්නේ... 20-30ක වගේ...
Zimbabwe වල Mana දියකඩිති වල ජීවත් වෙන Painted Wolf රංචු දෙකක් ගැන තමා මේ කොටස යන්නේ..
අපේ ප්‍රධාන චරිත දෙක තමා Tait සහ Blacktip කියන ගැහැණු Painted Wolf දෙන්නා.. Tait කියන්නේ Blacktip ගේ අම්මා..මේ දෙදෙනා වෙන වෙනම රංචු දෙකක් පාලනය කරන ගමන් ඉන්නේ..Blacktip ගේ Territory යට වඩා Tait ගේ Territory ය ගොඩක් ලොකුයි...
- Territory Map -
Blacktip ගේ රංචුව සීඝ්‍රයෙන් වර්ධනය වෙන ගමන් ඉන්නේ..මේ නිසා ආහාර හිඟයක් වගේම සීමාවේ අඩුවකුත් ඇති වෙනවා..මේ නිසා හයිනලගේ බල සීමාව ආක්‍රමණය කරන එක අනතුරුදායක වැඩි නිසා පිරිස් බලය අඩු තමන්ගේ අම්මගෙම බල සීමාව Blacktip ආක්‍රමණය කරලා ඇගේ රංචුව ඇගේම බල සීමාවෙන් පිටුවහල් කරනවා...
අසරණ වුණ Tait ගේ රංචුව අසල තිබෙන බලසීමාවන්ට හොරෙන් ඇතුළු වෙනවා..කෙසේ හෝ මාස කිහිපයක් තමන්ගේ රංචුව රැකගන්නවා Tait..
දැන් එන්නේ වියළි සමය..Blacktip විසින් අත්පත් කරගත්ත Tait ගේ බල ප්‍රදේශයෙත් ආහාර හිඟ වීගෙන එන්නේ..ඇයත් දැන් වෙනත් බලසීමාවන් වෙත ඇතුළු වෙනවා ආහාර හොයාගෙන..මේ යන අතරෙදි Blacktip ට තමන්ට හුරු පුරුදු ඉවක් දැනෙනවා..ඒ අම්මගේ ඉව...ඇය තම රංචුවේ මෙහෙයුම ආහාර සොයා යෑමේ සිට Tait ගේ රංචුව Mana Pools වලින් සඳහටම එලවීම දක්වා වෙනස් වෙනවා..
මේ අතරේ Tait විසින් තවත් පැටවෙක්ට උපත ලබා දෙනවා..ඒත් අවාසනාවන්ත ලෙස රෑකදි හයිනලගේ පහර දීමකින් ඒ පැටවා නැති වෙනවා 😔 (ඒ වෙලාවේ යන මියුසික්ස් එක්ක නම් දුක හිතුණා)
මේ වෙනකොට Tait පසුපස හඹා යන Blacktip ගේ රංචුවට බොහොම ලොකු අනතුරු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා...මොවුන් ලුහු බැඳීම අත්ඇරලා නැවතත් පිටව යනවා..
Blacktip ගේ පසුබැසීම ඉව වැටුණ Tait ගේ රංචුව නැවතත් තමන්ගේ Territory ය වෙත යන්න පිටත් වෙනවා...
ඒත් Tait එන්නේ නැහැ නැවතත් රංචුව සමඟ යන්නට...ඇය තමන්ගේ ගමන නතර කරන්නයි හදන්නේ...අවුරුදු හත හමාරක නායකත්වයකින් පසුව ඇය තමන්ගේ කිරුළ අතහරිනවා..නමුත් ඇගේ ජීවන සහකාරයා ඇයත් සමඟම Lion Pridelands හි මිය යන්න සූදානමෙන් නතර වෙනවා..
ඇය මේ නැවතුණේ 6600ක් වන ඇගේ මුළු වර්ගයාගෙන් 280ක්ම ඇගේ ලේ උරුමයෙන් බිහි වුණු අය බවට පත් කරමින්...ඇය මී මිත්තණියක්...(රූගත කිරීම් වන විට ගණනයන් පරිදි ජීවතුන් අතර සිටින ප්‍රමාණය තමා 280,නමුත් මිය ගිය අයවලුන් කීයක් නම් ඇත්ද? එතකොට බලද්දි Tait තමා Painted Wolf ලගේ Godmother 🙏)
නැවතත් තමන්ගේ පරණ ගෙදරට පැමිණි Tammy(Tait ගේ බාල පැටියා) අලුත පැටවුන් හත් දෙනෙක්ට උපත දෙනවා...ඊලඟ කිරුළට උරුම කරුවන් හත් දෙනෙක්...
🌟 අවුරුදු දෙකකට වැඩි කාලයක් තිස්සේ විටෙක 50°C අධික උෂ්ණත්වයක් යටතේදීත් කළ රූගත කිරීම් වල ප්‍රතිඵලයක් තමා මේ කොටස...
මෙහි උපදේශනය සඳහා Painted Wolf ලා ගැන දශක ගණනාවක අත්දැකීම් ඇති ඒ වගේම Tait ව අවුරුදු දහයක් තිස්සේ අධ්‍යනය කරන Nick Murray සහ අත්දැකීම් සපිරි අප්‍රිකාවේ Guide කෙනෙක් වන Henry Bandure... Henry නම් විශිෂ්ඨ Guide කෙනෙක්...🙏
Painted Wolf ලා ගැන කතා කරද්දි ඔවුන් ලෝකේ සත්ත්වයන් අතුරින් තමන්ගේ රැලේ අයෙක් අනතුරකට හෝ වයෝවෘද්ධ වුණාම අවසන් තප්පරය දක්වා අත්නොහරින සත්ත්ව කොට්ඨාසයක්...එක වරෙක අනතුරකට ලක් වෙන Tait ගේ දියණිය Tammy ව ඇය සුව වෙන තුරු ඇගේ කුස පුරවනවා රැලේ සාමාජිකයින්...
මේ නායිකාවගේ දියණිය වුණ පලියටම නෙමෙයි..තමන්ගේ රැලේ ඕනිම කෙනෙක්ට ඔවුන්ගේ ප්‍රතිචාරය එහෙමයි 😊
Episode 05: Tiger
----------------------------
ඉන්දියාවේ Bandhavgarh ජාතික උද්‍යානය ව්‍යාඝ්‍රයන් ගහණ වුණ තැනක්..මේ කොටසෙදි Raj Bera කියන ව්‍යාඝ්‍ර මව මූලික කරගෙන තමා කතාව යන්නේ...
ඇය මවක්..මේ වන විට ඇය සමඟ අලුත උපන් පැටවුන් හතර දෙනෙක් ඉන්නවා...තුන් දෙනෙක්ම පිරිමි පැටවුන්...එක් අයෙක් ගැහැණු පැටවෙක්..ඇගේ නම Biba..
ඔවුන් ඉපදී සති දෙකක හාමත කාලයකින් පසු ඇය නැවතත් ගුහාවේ සිට කැලයට ඇදෙනවා පැටවුන්ට කිරි දෙන්න කුස පුරවගන්න..
Raj Bera පළපුරුදු දඩයක්කාරයෙක් වුණත් මේ නිවර්තන වැසි වනයේ දඩයමක් සාර්ථක කරගන්න අපහසුයි...
මේ අතරේ ඇගේ බල ප්‍රදේශයට අසල බල ප්‍රදේශයකින් තවත් ව්‍යාඝ්‍ර දෙනක් එනවා...ඇය තමා Solo..ඇය Raj Bera ගේ දියණියක්..
ඇය එන්නේ තම මවගේ බල සීමාව ආක්‍රමණය සඳහා...නමුත් තවමත් ඇයට මව සමඟ සටනකට ශක්තිමක් සහ අත්දැකීම් මදියි..ඒ නිසා ඇය කූට ලීලාවකින් මඟ හරිනවා සටන...
මාස කිහිපයක අසීරු කාලයකින් පසු දැන් තරම් සැනසෙන සුලු කාලයක් එන්නේ...දැන් පැටවුන්ට මව පසුපස ඇවිදගෙන යන යන තැන එන්න පුලුවන්...ඒ නිසා ගුහාවේ අත්හැර යන්න උවමනා නැහැ..
Raj Bera දඩයමක් කර ගැනීමෙන් පසු තමන්ගේ කුස පුරවා ගැනීමට පෙර පැටවුන්ට එයට ලං වෙන්නවත් ඉඩ දෙන්නෑ...ඇය කෙමෙන් කෙමෙන් පැටවුන්ට ස්වාධීන වෙන්න උගන්වන ගමන් ඉන්නේ...Biba ගේ තත්වය නම් ටිකක් අසරණයි..ඇගේ සහෝදරයන් ඇයට දඩයමේ රස බැලීමට ඉඩ දෙන්නේ නෑ ඔවුන් එය රස බලලා ඉවර කරනතුරු...ඉතින් Biba ට හම්බ වෙන්නේ අඩු ආහාර ප්‍රමාණයක්..
පිරිමි පැටවුන්ද වැඩි වියට පත්වූ පසු තමන්ට බල ප්‍රදේශ සොයාගන්න පිටව යනවා..Biba ත් ඇය වැඩිමල් වුණ පසු Mating Season එකේදි පිරිමි සතෙක් සමඟ එක් වෙනවා..ඇයත් ලඟදිම ගැබ්බර වේවි...ඉන්පසු ඇගේම කියා පැටවුන් සමඟ ඇයත් බල ප්‍රදේශයක් අත්පත් කර ගනීවි...
🌟 කැමරා කණ්ඩායම Raj Bera ඇතුළු ඇගේ පැටවුන්ව අවුරුදු දෙකක් තිස්සේ රූගත කිරීම් කරනවා..එක් මොහොතක ඇයව මඟ ඇරුණොත් ඇයව නැවත හොයාගන්න අපහසුයි..මොකද ඔවුන් සැඟවෙන්න හරිම දක්ශයි..
පසුගිය සියවසක කාලය තුල ව්‍යාඝ්‍ර ගහණය 95%කින් පමණ පහත වැටී තිබෙනවා..100,000 ක සිට 4000ක පමණ සංඛ්‍යාවකට..Bandhavgarh උද්‍යානය එයින් ව්‍යාඝ්‍රයන් 80කට පමණ සෙවණ දෙනවා..නමුත් කැලෑ එලිකිරීම් නිසා ඉඩ සීමිත වන ව්‍යාඝ්‍රයන් මිනිස් ගම් වෙත පැන බල්ලන්,ගවයන් ඩැහැ ගැනීම සීග්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙනවා..
එක් අවස්ථාවක Raj Bera වියළි සමයේ ආහාර හිඟ වීම නිසා අසල මිනිස් ගමකට පැන ගවයින් ඩැහැ ගැනීමට යද්දි වනෝද්‍යාන නිළධාරීන් පැමිණ ඇයව අල්ලාගෙන නැවතත් ඇගේ බල ප්‍රදේශයටම අත හරිනවා..
BBC+David Attenborough+African Traditional Music 💝💓 තව මොනවද ඕනි 😊😇
📌5/5
Peace Out!
#VladTepes
2021-09-29
Comments
Post a Comment